සිතෙහි දෙයාකාර බව කෙතරම් පුදුමාකාරද..? මිනිසුන් මෙතරම් දියුනු වූයේ ඒ නිසාම නොවේද? මිනිසුන් සතු වූ තාර්කික බුද්ධියේ මහිමයෙන් ලොවට කෙතරම් විශ්මිත නිර්මාණ බිහිවීද?
නමුත් එකම දේ පිළිබඳව විවිධ අයුරින් හිතන්නට හැකි වීම නිසා තීරණ ගැනීමේදී අප කෙතරම් දෙගිඩියාවට පත්වී තිබේද? අනෙක් ප්රශ්ණ පසෙක තබමු. යොවුන් ආදරයේදී, විවාහයේදී දෙගිඩියාවකින් තොරව තීරණ ගතහැකි අවස්ථා ඉතා විරළ නොවේද?
මේ කාරණය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ ගීතයක් ඔබ අසා තිබේද? වික්ටර් රත්නායකයන් විසින් ගයන මේ ගීතය ඔබ එක් වරක් හෝ අසා ඇති බවට නම් සැකයක් නැහැ. නමුත් එකම සිතක දෙයාකාරයකට නැග එන සිතුවිලි මාලාවකින් එම ගීතය පිරි ඉතිරී ඇතිබව ඔබට දැනුනාද? එක සිතුවිල්ලක් සමඟම එය පරයමින් නැග එන විරුද්ධ සිතුවිලි යන දෙකොටසම එකවර මේ ගීතයට ඇතුලත් කර තිබෙන්නේ පුදුමාකාර අයුරින්. මෙහිදී ගේයපද රචකයා කවුදැයි සදහන් කිරීමට තරම් මා සතු දැනුම ප්රමාණවත් නොවීම ගැන මට සමාව දෙන්න.
ඒ අතරම මේ ගීතය හා බැඳි ඇති විශේෂ කරුණක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. එක සිතුවිල්ලක් නැගී එය වියැකී යන්නට පෙර තවත් සිතුවිල්ලක් නැගී එන බව අප දනිමු. මේ ගීතයේද එක සිතුවිල්ලකට අදාල පද පේලිය ගැයී අවසන් වන්නට පෙර අනෙක් සිතුවිල්ලට අදාල පද පේලිය ගැයෙන බව ඔබට අසන්නට ලැබේවි. එකම ගායකයෙකු මෙසේ ගයන්නේ කෙසේද? අද පවතින නවීන තාක්ෂණය සමඟ මෙය ඉතා සුලු කාරණයක් වුවත් එදා සැබවිම මේ ගීය මුලින්ම පටිගත වූ දා පැවතියේ ඉතා අඩු පහසුකම් ප්රමාණයක් බව අප සිහිපත් කළයුතුය.
එදා ඉතා අඩු පහසුකම් තත්වයක් යටතේ වුවත් මෙතරම් නිර්මාණාත්මක අයුරින් මේ ගීතය පට්ගත කල ශබ්ද පරිපාලක වරයා කවුද? සිංහල ගීත කලාවට වටිනා නිර්මාණ රැසක් එක් කර දුන් ගුණදාස කපුගේ නම් වූ සංගීත වේදියා එදා මෙම ගීතයේ ශබ්ද පරිපාලකයා විය.
මේ සියලු කරුණු කාරනා සමඟ මේ ගීතය රස විඳින්නට මම ඔබට ඇරයුම් කරමි. ඒ අතරම මෙම ගීතයේ පද රචකයා දන්නා කෙනෙක් වෙත්නම් අප දැනුවත් කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.